Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

පළමුව ඔබේ භාෂාව අත්පත් කරගන්න. අනතුරුව වෙනත් භාෂා එයට එක්කාසු කර ගන්න - ගුගි වා තියොන්ගෝ

 



ගුගි වා තියොන්ගෝ යනු ‍ලොව පුරා ‍සාහිත්‍ය ලෝලීන් මහත්සේ ආදරය කරන කෙන්යානු ජාතික ලේඛකයෙකි, විද්වතෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි. ගුගි ගේ නිර්මාණ කාර්යයන් නවකතා, කෙටිකතා, නාට්‍ය, ලිපි, රචනා සහ කාව්‍යය වැනි විශාල පරාසයක විහිදී ඇති අතර එම නිර්මාණ මේ වන විට වෙනත් භාෂා 60 කට පමණ පරිවර්තනය වී ඇත.

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සාහිත්‍යය සම්බන්ධ කැපී පෙනෙන සේවයක් කරමින් සිටින මහාචාර්යවරයෙක් ද වන ගුගි, ඔහුගෙන් සාහිත්‍යයට සහ භාෂාවට සිදුවන අනුපමේය සේවය වෙනුවෙන් විවිධ සම්මාන රැසකින් සහ ගෞරව ආචාර්ය පදවි 11 කින් පුදනු ලැබ ඇත. ගුගි තමන්ව හඳුන්වා දෙන්නේ ‘භාෂා සටන්කාමියෙක්’ ලෙසය. ඒ මන්දයත් ඔහුගේ මව් භාෂාව වූ ගිකුයු සහ අනෙකුත් ආන්තරීකරණයට ලක් වූ භාෂා වලට නිසි තැනක් හිමිකර දීමට ඔහු සිය නිර්මාණ හැකියාව යොදා ගනිමින් සටන් වදින නිසාය. කෙන්යාවේ නිල භාෂාව ඉංග්‍රිසි වන අතර, ගුගි නිර්මාණකරණයේ යෙදෙන්නේ සිය මව් භාෂාව වු ගිකුයු යොදා ගනිමිනි. 2017 පෙබරවාරී මාසයේදී, කැලිි‍ෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ලේඛකයෙකුගේ කාර්යයන් ඇගයීම අළලා ජීවිතේ එක්වරක් පමණක් පිදෙන ගෞරව නාමයකින් ද ගුගි පිදෙනු ලැබීය.

පහතින් දැක්වෙන්නේ 2017 වසරේ lareviewofbooks.org වෙබ් අඩවියේ පළවුනු ගුගි වා තියොන්ගෝ සමඟ හංගේරියානු - කොංගෝ ජාතික ලේඛිකාවක, ජනමාධ්‍යවේදිනියක වන නන්දා ඩිසොයු විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනයකි.

  • කුඩා කාලයේ ඔබ කවදහරි හිතුවද ඔබ ප්‍රසිද්ධ ලේඛකයෙක් වෙලා ඔබේ සාහිත්‍ය කෘති වෙනත් භාෂා 60 කට විතර පරිවර්තනය වෙයි කියලා?

නැහැ. කවදාවත් නැහැ. අඩුම තරමේ ලේඛකයෙක් වෙයි කියලාවත් හිතුවේ නැහැ. ‍අපට තිබුණු ඕනෑම අකාරයේ අධ්‍යාපනික අවස්ථාවක් අත්පත් කරගැනීමේ අරගලය ඉතාමත් දුෂ්කර එකක් වුණා. ඉතාමත් අල්ප සංඛ්‍යාවක් වූ පාසල් සහ විද්‍යාලවල තම ස්ථානය වෙන් කරගැනීමේ තරඟය ඉතාමත් සැහැසියි. ප්‍රාථමික පාසලේ සිට මහා විද්‍යාල දක්වා අවුරුදු දෙකකට වරක් අවසන් පරික්ෂණ පැවැත්වෙනවා. දෙවැනි අවස්ථාවක් ලැබීමේ ඉඩකඩ හරි අඩුයි‍. එක් වරක් මොනයම් හෝ කාරණාවක් නිසා ඔබ දුම්රියෙන් බැස ගියහොත් ඔබට ආයෙත් කවදාවත් එයට ගොඩවනු බැහැ. ඒත් මට නිතරම කියවීමේ උවමනාව තිබුණා. House of the Interpreter නම් වූ ම‍ගේ මතක සටහන් ඇතුළත් කෘතියේ සඳහන් කර ඇති පරිදි, එකල මගේ එකම අපේක්ෂාව වුණේ පුස්තකාලයකට යන්න, ඒ එහි තිබෙන සේරම පොත් කියවන්න. එහෙත් ජිවන යතාර්ථය විසින් එවැනි අපේක්ෂාවන්ගේ තටු සිඳ දැමුවා, ඒත් කියවීමෙ ආශාව ඉතිරි වුණා.

  • ලේඛක ප්‍රජාව අතරේ ඔබගේ වෘත්තීය තුළ ඔබ දකින ආකාරයට මේ මොහොතේ ඔබේ වගකීම කුමක්ද?

මම භාෂා සටන් කාමියෙක්. මට ඕනෑ ලොව පුරා සිටින ආන්තරීකරණයට ලක් වූ භාෂා වෙනුවෙන් සටන් කරන සෙසු අය හා එක් වෙන්න. කිසිම භාෂාවක් එය නිර්මාණය වුණු ප්‍රජාව තුළ පරිධියට තල්ලු විය යුතු නැහැ. භාෂා කියන්නෙ සංගීත භාණ්ඩ වගේ. ඔබට කියන්න බැහැනෙ, ජගත් සංගීත භාණ්ඩ කිහිපයක් විතරක් තියෙන්න ඕනෙ, නැත්නම් හැම ගායකයාටම ගයන්න පුළුවන් එක හඬක් විතරක් පවතින්න ඕනෙ කියලා.



  • ජීවිතයේ තරුණ කාල‍යෙදීම ඔබගෙ නිර්මාණ ප්‍රකාශයට පත් වීම සම්බන්ධයෙන් ඔබ සාර්ථක වුණා. ඔබගේ මුල්ම වේදිකා නාට්‍යය The Black Hermit 1962 වසරේ නිෂ්පාදනය කළා, 1963 දී එය එළි දැක්වුණා. ඔබ ප්‍රථමයෙන් ලියූ නවකතා ද්විත්වය, The River Between (1965) සහ Weep Not, Child (1964) විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක් වුණ‍ා, ඒ ඔබ ජ්‍යෙෂ්ඨ පාසල් සිසුවකෙුව සිටියදි. ඔබ වයස 20 දී පමණ අත්පත් කරගත් සාර්ථකත්වය පසු කලෙකදී එලෙසම නොලැබීම පිළිබඳ ඔබට සිත් තැවුලක් තියෙනව ද?

ඇත්තටම, ගොඩාක් කාලයක් යනතුරු මම හිතුවේ මුල් කාලයේ මගේ නවකතා ආධුනිකයෙකුගේ නිර්මාණ කියලා. ඒ නිසා, ඔබ සඳහන් කළ නවකතා වගේම, අටකට ආසන්න කෙටි කතා සහ හැටකට අධික පුවත් පත් ලිපි ගොන්න ගැන සැළකුවා වුණත්, මට ම‍ාවම ලේඛකයෙක් ලෙස පිළි ගන්න අමාරු වුණා. මම හිතුවේ මට ‘ලේඛකයෙක්’ කියලා කියන්න හැකියාව ලබා දෙන නවකතාව තවම මම ලියලා නැහැ කියලයි.

A Grain of Wheat (1967) සහ Petals of Blood (1975) කෘති කියන්නෙ, එවැනි උත්සාහයන් ගේ ප්‍රථිපල. නමුත් ඒ නිර්මාණ අවසන් කරන කාලය වන විට, මගේ නිර්මාණාත්මක ලෝකය තුළ මා යොදා ගත් භාෂා මාධ්‍යය වු ඉංග්‍රීසි පිළිබඳ මගේ ආස්ථානය වෙනස් වුනා, මම ඒ වෙනුවට ගිකුයු භාෂාව මම පාවිච්චි කරන්න පටන් ගත්තා. මම ගිකුයු වලිනුත් මම එතෙක් නොලියූ නවකතාව ලියන්න උත්සාහ කළා. Caitaani Mũtharabainĩ(ඉංග්‍රීසි බසින් Devil on the Cross) සහ Mũrogi wa Kagogo (ඉංග්‍රීසි බසින් Wizard of the Crow) කියන්නෙ මගේ අලුත්ම උත්සාහයේ ප්‍රතිඵල. මට දැන් අවබෝධ වෙලා තියෙනවා, ලිවීමට එළැඹීමේ විශේෂ මොහොතක් නැහැ. නැතහොත් ලිවීමට එළැඹීමේ මොහොත කියන්නෙ දිගු ගමනක අලුත් අදියරක්. එය නොනවතින අභියෝගයක්.

  • ඔබගේ ලේඛණ දිවිය තුළ වැඩිමනත් සාර්ථකත්වය අත්පත් කරගත්තේ කෙන්යාවෙන් පිටතදි, ඒ තිස් වසරකට අධික කාලයක් පුරා ඔබ ඔබගේ මව් බිමෙන් පිටුවහල් කර ඇති නිසා. එම යථාර්තය විසින් ඇති කරනු ලබන දුරස්ථකරණයේ මනෝභාවය කිසිවිටෙක පහව ගියේ නැද්ද?

නැහැ. ඒ තරම්ම නැහැ. ඒත් මම එයට මුහුණ දෙන්න උත්සාහ කළේ, පිටුවහල් වීම, ඉතිහාසයේ අරුම පුදුම සහ අසිරිමත් බලපෑම් ඇති කළේය යන දැනුමත් සමඟ. හිතන්න ඊජිප්තුවේ රැකවරණය ලද මෝසස් සහ‍ ජේසු, මුහම්මද් තුමා සහ ඔහුගේ අනුගාමිකයන් ක්‍රිස්තියානි ඉතියෝපියාවේ රැකවරණය ලැබුවා, මාක්ස් ප්‍රංශයේ සහ ලන්ඩන් වල. පිටුවහල් ජීවිතය අදහස් වලට පණ පෙව්වා, පසුකලෙක ඒවා ඔවුන්ගේ මව්බිම් මත බලපෑම් ඇති කළා. මම හිතන්නේ මෙය තමයි, අප්‍රිකානු කැරබියානු ලේඛක ජෝර්ජ් ලැමින් ඔහුගේ සුප්‍රකට ලියවිල්ල The Pleasures of Exile (1960-පිටුවහලේ ආශ්වාදය) මඟින් අදහස් කළේ. ඒ වගේම මම අදහසක් ගොඩනැඟුවා Globalectics කියන මගේ කෘතියෙ, මම එය නම් කලේ Globalectics නමින්: ඥානනයේ න්‍යාය සහ දේශපාලනය (2012) කියලා. එය සැබවින්ම වැලි කැටයක ලෝකය දැකීමේ, හෝරාවක අනන්තය දැකීමේ බ්ලේකියානු දැක්ම වැඩි දියුණු කිරීමක්. අපි එකිනෙකාට සම්බන්ධයි.



  • 1977 ඔබ, I Will Marry When I Want නම් මතභේදයකට තුඩු දුන් වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළායින් අනතුරුව, වසරක කාලයක් ඔබව සිර කොට තැබුවා නඩු විභාගයක්වත් නැතිව. විශේෂයෙන්ම ඔබව සිර කොට තැබුවේ ඔබගේ ජනතාව බලාත්මක කිරීමට ඔබ නාට්‍ය කලාවත්, මව්බසත් යොදා ගැනීම නිසා. මේ කාලය වන විට ඔබ හිතමින් සිටියා ඔබ ඉංග්‍රීසි බසින් ලිවීිමේ අර්ථය කුමක් ද කියන එක. ඒ අනුව තමයි ඔබ ගිකුයු බසින් ලිවීම ආරම්භ කරන්නෙ. කවුරුත් දන්නවා ඔබ Devil on the Cross ලීවේ සිරගතව සිටියදි, වැසිකිලි භාවිතයෙදී පාවිච්චියට ගන්නා කඩදාසි මත බව. එතැන් සිට ඔබ අප්‍රිකානු ලේඛකයන් දිරිමත් කළා ලිවීම සඳහා ඔවුන්ගේ මව් බස යොදා ගන්න. එම සටනේ තත්වය කුමක්ද සහ ගිකියු භාෂාව සමඟ ඔබ පටන් ගත් ගමනේ ආරම්භය වෙත හැරී බැලුවොත් ඔබට ද‍ැනෙන්නෙ මොනවද?

අරගලය දිගටම සිදුවෙනවා. අපට ඒ සඳහා රජය, ප්‍රකාශකයා සහ ලේඛකයා යන තිදෙනාම එක්ව අප්‍රිකානු භාෂා වලට අවශ්‍ය අවකාශය නිර්මාණය කරගත යුතු වෙනවා. මෙතෙක් රජය එවැනි සහයක් ලබා දී නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති සැකසිලා තියෙන්නෙ යු‍රෝපීය භාෂා භාවිතය දිරිමත් කිරීමත්, අප්‍රිකානු භාෂා පරිහානියට යාමත් සිදුවන ආකාරයටයි. බොහෝවිට පශ්චාද් යටත් විජිත රාජ්‍යයන් ක්‍රියා කරන්නෙම අප්‍රිකානු මව්භාෂාවන්ට සතුරු ආකල්පයකිනුයි.

  • ඔබ විරෝධය පෑමේ ක්‍රියාවක් ලෙස ගිකුයු භාෂාවෙන් ලිවීම ආරම්භ කලා. ගෙවුණු වසර 40 පුරා, ඔබ අනෙක් ලේඛකයන්ට ද එසේ කිරීම සඳහා මඟ හෙලි කළා. ඉතින් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ එතෙක් මෙතෙක් කිසියම් වෙනසක් ඇති වෙලා තියෙනවද?

අප්‍රිකානු භාෂාවෙන් පොත් ලිවීම සහ ප්‍රකාශයට පත් වීම සම්බන්ධයෙන් ලොකු වෙනසක් සිදු වෙලා නැහැ. ඒත් ආකල්ප වෙනස් වෙලා තියෙනවා. මම මුලින්ම 1986 දි Decolonising the Mind ප්‍රකාශයට පත් කරන විට, මට පිළිකෙව් කිරීම්, හෙලා දැකීම් සහ විරෝධය පළ කීරිම් වලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් දැන් ඒ තත්වය දකින්නට නැහැ.



  • ඔබ හිතනවද ලේඛකයින් පළමුව සිය මව් භාෂාව යොදාගෙන නිර්මාණකරණයේ යෙදී ඉන් අනතුරුව එම නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය විය යුතුයි කියලා?

ලේඛකයින් තම කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම ගැන අකැමැති විය යුතු නැහැ. මම එය කරන්නෙ, එක් අප්‍රිකානු භාෂාවකින් ලියූ විට, එම කෘති වෙනත් අප්‍රිකානු භාෂාවක් භාවිතා කරන්නන්ට ඇසුරු කිරිමට බාධාවක් ඇතිවේ යැයි තර්ක කරන්නන්ට විරෝධය පෑම සඳහා. මතක තියා ගන්න, තමන්ගේ කෘති වෙනත් භාෂාවලට පරිවර්තනය වන විවිධ යු‍රෝපීය භාෂාවලින් ලියන ලේඛකයෝ කවදාවත් එවැනි කතාවක් කියන්නේ නැහැ. මෙතන ගැටළුව වන්නේ, අවාසනාවකට වගේ, අප්‍රිකානු භාෂාවලින් ලියන ලේඛකයින් එතරම් කරළියට එන්නේ නැහැ. ඔවුන්ගේ කෘති විචාරයට හෝ පරිවර්තනයට බඳුන් වෙන්නෙ නැහැ. ඒ වගේම එවැනි කෘති ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන සමාගම් ද සීමා සහිතයි. නමුත් එවැනි බාධක මධ්‍යයේ වුවද ඉහළ ගණයේ කෘති බිහි වෙනවා, උදාහරණයක් විදියට කිස්වහිලි (Kiswahili) භාෂාවෙන් ලියැවෙන කෘති. කිස්වාහිලි(ඉංග්‍රීසි භාෂාවෙන් ස්වහීලි-swahili- ලෙස උච්චරාණය කරයි) කියන්නෙ නැ‍‍ඟෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ භාවිතා වන භාෂාවක්. එහි ඉතා විශිෂ්ඨ ගණයේ සාහිත්‍ය සම්ප්‍රදායක් පවතිනවා. එම භාෂාවෙන් ශබාන් රොබර් ට් සහ අබ්ඩිල්තිෆ් අබ්දල්ලා වැනි ලේඛකයන් හරහා උසස් සාහිත්‍ය කෘති නිර්මාණය වී තිබෙනවා.

  • ඔබ නිතරම නැවත නැවත අවධාරණය කළ දෙයක් තමයි ‘ ඉංග්‍රීසිය අප්‍රිකානු භාෂාවක් නොවේ’ය යන්න. එසේම දිගින් දිගටම ඉංග්‍රීසියෙන් ලියන අප්‍රිකානු ලේඛකයන්ට වැඩි වශයෙන් සාහිත්‍ය සම්මාන හිමි වීම පිළිබඳ ඔබ ඔබගේ අප්‍රසාදය පළ කරනවා.

ඔබ හිතන්න, බ්‍රිතාන්‍ය ජාතිකයන් ජපන් භාෂාවෙන් ලිව්වොත් ජපන් භාෂාව ඉංග්‍රීසින්ගේ භාෂාවක් වෙනවද? මම කෝපයට පත් වන්නෙ අප්‍රිකානුවන් විසින් යු‍රෝපීය භාෂාවලින් නිර්මාණය කරන සාහිත්‍ය කෙතරම් පමණකට අප්‍රිකානු අනන්‍යතාව අත්පත් කර ගන්නේද එහි දි සිදුවන සාහිත්‍ය අනන්‍යතා සොරකම කෙතරම්දැයි සිතා බලද්දියි.



  • Decolonizing the Mind කෘතියේ ඔබ සඳහන් කරනවා ‘ භාෂාව අධ්‍යාත්මික යටහත් භාවයේ එක් විදියක්’ කියලා. ඒවගේම යටත් විජිත පාලකයාගේ භාෂාව යටත් විජිතකරණයට හසුවූ රාජ්‍යයේ බුද්ධිමය නිෂ්පාදන මාධ්‍යය ලෙස යොදා ගැනීම පිළිබඳ ඔබ වරෙක ලියා තබනවා, “යටත් විජිතවාදය විසින් අසාමාන්‍යය සාමාන්‍යකරණය කරනවා” කියලා. අනෙක ඔබ කියනවා පරිවර්තනය කියන්නෙ දේශපාලනික ක්‍රියාවක් කියලා. මෙය තවදුරටත් පැහැදිලි කරනවද?

වඩාත් සාධනීය දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තෙ අපි ඉන්න තැන ඉඳලා, අපි දැනට දන්න දෙයින්. ඉන් අනතුරුවයි භාහිර දැනුම එයට එක්කාසු කරගන්නෙ. භාෂාව සම්බන්ධයෙනුත් එහෙමයි. හරිම සරලයි. පළමුව ඔබේ භාෂාව අත්පත් කරගන්න. අනතුරුව වෙනත් භාෂා එයට එක් කර ගන්න. එය තමයි බලාත්මක වෙනවා කියන්නෙ.

  • ඔබගේ කෘති පිළිවෙලින් ඇසුරු කරන්නෙකුට, ඔබගේ ලේඛණ ශෛලීන් වල සංවර්ධනය වගේම ඔබ දරන සමාජ දේශපාලනික අදහස් වල විකාශනය ගැන ද අවබෝධයක් ලබන්න පුළුවන්.

සමාජය තුළ බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මම උනන්දු වෙනවා. කිනම් සමාජ පංතිය, කෙසේ බලය හසුරුවන්නේ ද යන්න විසින් බලපෑමකට හසු නොවන ජීවිතයේ කිසිම අංශයක් නැහැ. ඇත්තෙන්ම මම දරන අදහස් විකාශනය වෙලා. එහෙත් ලෝකය දකින ආකාරය, පීඩිතයාගේ අවශ්‍යතාත් ගැන දරන ආකල්පය වෙනස් වී නැහැ. Globalectics කියන්නෙ මගේ දැක්මෙහි නිරූපණය. ජීවය එකිනෙකට සම්බන්ධයි - පෘථිවිය, ජලය, අහස සහ සෑම නිමැවුමක්ම මෙන්ම නිර්මාණ හැකියාව ඇති සියළු දේ එකිනෙට සම්බන්ධයි. දැන් මට තේරෙනවා ඇයි අපේ මුතුන්මිත්තන් හිරු වන්දනා කළේ, ඇයි ජලය ගින්දර පස සහ ශාක සත්ව ජිවිත වලට ගරු කලේ කියන එක. පුර්ව යටත් විජිත සමයේ ගිකුයු සම්ප්‍රදාය තුළ ඔබට සිදු වෙනවා ගසක් කැපීමට හෝ ඉදිරීමට ප්‍රථම තව ගසක් සිටු වන්න. පෘථිවිය අප සියල්ලන්ගේම මාතාව ලෙස සැලකුවා, කිසිම කෙනෙක් තව කෙනෙකුට වඩා අයිතියක් පෙන්නුවේ නැහැ. එ් නිසයි මම විශ්වාස කරන්නෙ පරිසරයට හානි කිරීම මනුෂ්‍යත්වයට සහ ජීවයට විරුද්ධව කරන අපරාධයක් කියලා. ජල හෝ වායු දුෂණය හැමතැනම ඇති නිමැවුම් වලට බලපෑම් කරන සංසිද්ධි.



  • ඔබ පශ්චාද් යටත් විජිත අප්‍රිකානු සමාජය තුළ රැඩිකල් වෙනසක් ඇති කිරීමට උත්සාහ කළ කෙනෙක්. ඔබ බලාපොරොත්තු වූ වෙනස අප්‍රිකානු සමාජය තුළ ඔබ දැන් අත් දකිනවද නැත්නම් අප්‍රිකානු මහද්විපය වර්තමානයේ ස්ථානගත වී ඇති ඉසව්ව පිළිබඳ ඔබ ඉන්නෙ කළකිරිමකින්ද?

අප්‍රිකාව කියන්නෙ බටහිරට ම වැය වුණු ත්‍යාගයක්. ඇය සතු සම්පත් රැක ගැනීමට දැන් කාලය ඇවිත්, ඉන් අනතුරුව පුළුවන් ලෝකයේ සෙසු රටවල් සමඟ ගනු - දෙනු ස්වභාවයේ සබඳතාවයකට යන්න. මම ඒ සම්බන්ධයෙන් මගෙ මතය ඉදිරිපත් කළා Secure the Base: Making Africa Visible in the Globe (2016) කියන මගෙ කෘතිය තුළිනුත්.

මම ආඩම්බර වෙනවා, වසර ගණනාවක් ශාරිරික වහල් භාවය, යටත් විජිත වහල් භාවය මෙන්ම අද වන විට ණයභරිත වහල් භාවය පසෙක තිබියදිත් අප්‍රිකාව සහ අප්‍රිකානු ජනතාව අත්කර ගෙන ඇති සාර්ථකත්වය පිළිබඳ. අප්‍රිකාව නැඟිටින්නෙ එක් පයක් සහ එක් අතක් බටහිරට බැඳ දමා තිබියදි. අවාසනාවකට, අප්‍රිකාව තවමත් මෙහෙයවනු ලබන්නේ, ධනේෂ්වර සංවර්ධනයේ සංකල්පයක් වන සුළුතරයකගේ සෞභාග්‍යය මඟින් රටක දියුණුව මැනීමේ ක්‍රමවේදය විසිනුයි. අපිට තවමත් මේ සමාජය වෙනසකට භාජනය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා, එහෙත් ඒ සඳහා කළ යුතු මූලිකම දෙය තමයි මහාද්විපයේ ස්වභාවික සම්පත් රැක ගැනීමට කළ යුතු අරගලය.

අප්‍රිකාව කියන්නෙ බටහිරට ම වැය වුණු ත්‍යාගයක්. ඇය සතු සම්පත් රැක ගැනීමට දැන් කාලය ඇවිත්ඉන් අනතුරුව පුළුවන් ලෝකයේ සෙසු රටවල් සමඟ ගනු - දෙනු ස්වභාවයේ සබඳතාවයකට යන්න. මම ඒ සම්බන්ධයෙන් මගෙ මතය ඉදිරිපත් කළා Secure the Base: Making Africa Visible in the Globe (2016) කියන මගෙ කෘතිය තුළිනුත්.

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.05.14  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.

 

Comments